විප්ලවයෙන් සියල්ල අහවරද? ප්‍රංශ විප්ලවය ඇසුරෙන්



මානව සංහතිය මූලික මිනිස් අයිතිවාසිකම් පතා කළ ගමනේ වැදගත් ම සන්ධිස්ථානය වශයෙන් XVI ලුවී රජු ගේ පාලනයට එරෙහි ව 1789 දී පැන නැගුණු ප්‍රංශ ආණ්ඩු විප්ලවය ඉතිහාසය තුළින් පෙන්නුම් කර දිය හැකිය. 18 වන ශත වර්ෂයේ දී ප්‍රංශ රජ පෙළපනේ බලය අසීමිත වූ අතර, එවකට පැවති ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණ බලය රජු වටා කේන්ද්‍ර ගත වූවක් විය. රදළයන්  හැරුණු කොට 92% ක ගොවි කම්කරු ජනතාවගෙන්ද 6% ක පූජක පක්‍ෂයකින් ද රටේ ජනගහනය සමන්විත වී තිබිණි. රදළයින් හා පූජක පක්‍ෂය අසීමිත වරප්‍රසාද වින්දහ. බදු බරින් නිදහස් කර තිබූ රදළයෝ තම නින්දගම්වලට වී සුර සැප විඳිමින් විරාජමාන වූහ.

බදු බර මුළු මනින් ම ගොවි ජනතාව ගේ කර පිට පැට වී තිබිණි. ලුණු බද්ද, ඉඩම් බද්ද වැනි අනවශ්‍ය බදු පවා ඔහු රජයට ගෙව්වේ ය. ඒ හැරෙන්නට පූජකයාට, ටයිත් නම් බද්ද ද ඔහුට ගෙවීමට සිදුවිය. රදළ නින්දගම්වල ජීවත් වූ ගොවි ජනතාවට ඔවුන් වෙනුවෙන් ද බදු ගෙවීම අනිවාර්ය විය. ඔවුහු තමා උපයන මුදලින් 50% ක් රජුට ද, 30% ක් රදළයාට ද ගෙවුවෝ ය. පිරිහී යමින් පැවති වැඩවසම් පාලන යුගය අවසානයේ, වෙළඳාම හා කර්මාන්ත දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ මධ්‍යම පංතිය සීග්‍රයෙන් ධනයෙන් හා බලයෙන් වැඩුණේ ය. මොවුන් අතරින් බිහිවූ, වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයින්, නීතිඥයින්, ලේඛකයින්, චින්තකයින් හා අර්ථ ශාස්ත්‍රඥයින් පවත්නා පාලන ක්‍රමයට විරුද්ධ වූහ. පැවති පාලන ක්‍රමය මහා පරිමාණයේ ව්‍යසනයකට මග පාදමින් ජනයා තුළ අසහනකාරී තත්ත්වයක් ඇති කෙළේ ය. රජ පවුලට එරෙහි ව නැගී සිටීමට ගොවි ජනතාව අපොහොසත් වුව ද, ඒ සඳහා මධ්‍යම පංතිකයා තම සහාය ලබා දුන්නේ ය. මෙසේ ප්‍රංශ සමාජයේ සෑම ස්තරයකට ම අයත් සමාජ කොටස් තුළ පැවති කළකිරීම, ප්‍රංශ විප්ලවයට බෙහෙවින් ම බලපෑවේ ය.

මොන්ටෙක්‍යු (1689 - 1755), වොල්ටෙයාර් (1694 - 1778) සහ රූසෝ (1712 - 1778) යන චින්තකයින් ගේ අදහස් ද ඒ සඳහා තදින් බලපෑවේ ය. එ කල පැවති ඒකාධිපති රාජාණ්ඩු විවේචනය කළ මොන්ටෙස්කාබලය බෙදීමේ න්‍යාය ඉදිරිපත් කෙළේ ය. වරප්‍රසාද ලත් කොටස්වලට එරෙහි වූ වෝල්ටෙයාර්, 'ඔබ භුක්ති විඳින වරප්‍රසාද අනෙක් අයටත් භුක්ති විඳීමට ඉඩ දෙන්න' යන අදහස දුන්නේ ය. 'රජතුමාට සියලු බලතල ලැබෙන්නේ දෙවියන් ගෙනි' යන අදහස රූසෝ තරයේ ම ප්‍රතික්‍ෂේප කෙළේ ය. 1789 දී රොබස්පියර් ගේ මූලිකත්වයෙන් ප්‍රංශ විප්ලවය ඇරඹිණි. මුලින් බැස්ටීල් හිර ගෙදර බිඳ දමූ විප්ලවවාදීහු, XVI ලුවී රජුද ඇන්ටොනයිට් බිසව ඇතුළු රජ පවුල සිරභාරයට ගෙන පසු ව ගිලටීනයට කැප කළහ. ඔවුන් තම ප්‍රධාන ආදර්ශ පාඨය වූ නිදහස,සමානත්වය හා සහෝදරත්වය පෙරදරි කර ගෙන මහජන ආරක්‍ෂක කමිටුව පිහිටුවනු ලැබූහ.

විප්ගවයේ ග්‍රහණය සබුද්ධිකත්වයෙන් ගිලිහී යන්නට වූයේ මෙකලයි. රාජාණ්ඩුව පළවා හැරීමෙන් පසු දේශපාලන මතධාරී පිරිස් පාලන තන්ත්‍රය කරා ගිජු කම් කරන්නට වූහ. විප්ලවවාදීන් අතර බොහෝ අවංක මිනිසුන් සිටිය ද පසු ව, එහි බලය කෙමෙන් පෙර කී නපුරු, බලයට ගිජු මිනිසුන් අතට නතු වීම නිසා, තමන් ගේ ගමනට හරස් වූවන් මරා දමන තත්ත්වයක් ඇති විය. රදළයෝ දහස් ගණනින් ගිලටිනය මත මරා දමනු ලැබූහ. ඔවුන් බොහෝ දෙනෙකු මරා දමනු ලැබුවේ, වංශාධිපති පවුලක සාමාජිකයෙකු ලෙස ඉපදීමේ පාපය නිසා වෙනි. ඔවුහු, භීතිය රජ කරන සමයක් උදා කළහ. ඔවුන් ගේ මෙම සීමාන්තික ලේ වැගිරීම නිසා මහා බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල් මුලින් ඔවුන් වෙත දැක්වූ අනුකම්පාව පසු ව බැහැර කළහ.

Comments

Popular Posts