ප්‍රේමයේ ගොක්තීරු

 

rural funeral scene

    පිලට ඔබ්බෙන් වැට අද්දර ඇදි ගොක් කොළ රෑන තවමත් සිලි සිලිය නගයි. පුවක් කොට දෙකක් සිටුවා කඩුල්ලට කර තැනුණු තොරණ පැත්තකට ඇල ව ගොසිනි.

 

 නින්ද නොදන්නා ඒ හැන්දෑවේ ඔහු පිල්කඩ කෙලවරට අවුත් ලැග ගත්තේ ය.පුවක් කහටින් රළු වූ තල්ලත්,නුහුරු හුණු සැරින් පැලී ගිය දෙතොලත් කොතල දියෙන් පොඟවා සෝදා හැරි ඔහු මනෝ ලොවක සරන්නට විය.දත් අතර වූ පුවක් කෑලි ඔහුටත් හොරා ඔහුගේ දිව හා ආලිංගනයේ ය.

 

 උදෑසන අව් කාස්ටකය මිනී වල කපන්නවුන්ගේ නිරුවත් පපු අතරින් දහදිය වාන් දම්මවන්නට තරම් දැඩි වුවත්, වළලන මොහොතේ පෙට්ටියට පෙර පනිට්ටුවක් ගත් ගැටයෙකුට වලට බැස ඉසින්නට සිදු විය.අසූහාර වියක් බදු ගෙපැලක තනිවී සිටි තම මවුගේ අවමගුල මගුල් සිරි ගනිතැයි ඔහු නොසිතුවාට සැක නැත.ගේ පිටුපස ඇද වැටී මව් මළාක් යැයි තොරතුර දැන ඔහුගේ රෝද සතර ඒ මිදුලට පහළ වන විටත් තොරණ බැඳ ගොක්කොළ අතුරා අහවරය. පෙට්ටිය සැපයූවන්ට රුපියල් තිස්දාහක් දීම පමණකි ඔහුට කරන්නට තිබුණේ.

  

පවුලේ වැඩිමලා වූ ඔහු සත්මසින් ඉපදුණ ආකාරයත්, තනකිරි පොවන්නට බැරිව පහන් තිරයකින් කිරි පෙවූ ආකාරයත්, අම්මා සූතිකාගාරයේ උන් දවසේ තාත්තා සතයක් දී ගත් පත්තරය මහමෝදර ඉස්පිරිතාලයේ බිම එලා නිදාගෙන බලා උන් ආකාරයත් ඈ කී සැටි ඔහුට අදත් සිහිපත් කොට හැකිය. ඈ ඒවා කීවේ ආඩපාලියක ස්වරූපයෙන් නොවේ.පාසල් නොගොස් ගැමි කොලුවන් හා කල්ලි ගැසී ගම වටේ කරක් ගැසූ ඔහුගේ ඔද වඩවා ඉස්කෝලේ ඇරීමටය,ඈ ඒ සියල්ල ඔහු හමුවේ කීයේ.ඇගේ ඒ කතා උසස් පෙළත් සමත් කරවා සරසවියට යැවීමට තරම් ඔහු තුළ එඩි නංවන්නට සමර්ථ විය.

  

සරසවියේ උපාධි පිරිනැමුම් උළෙලට අම්මා දමාගෙන ආ රබර් සෙරෙප්පු යුවළය,ඔහුට අම්මා එපා කරවූයේ.එවක් පටන් කලින් කලට ඔහු අම්මා දැකීමට ආ වාර ගණන සීමා වන්නට විය.එය ඔහුගේ හිතලුවකින් නොවූවද එය එසේම ය.අන්තිමට ඔහු අම්මා දක්නට ආයේ මීට වසර පහක් දහයක් අතර කාලයක දිනක ය.ඈ එදා ඔහුගේ මුව අතගා කී වචන අද තෙක් මතකයේ ඇතැයි,ඔහු මේ මොහොත තෙක් නොදැන සිටියේය.ඇගේ ඒ වචන හිතේ කැකෑරෙමින් තිබී ඔහුගේ දෙතොලේ පොපි දෙවන්නටත් සමර්ථ විය.

    

    "මාත් ගිය දවසක උඹ මේ කරදරෙන් මිදෙයි බං පුතේ.."

 

 ඔහුගේ සිතිවිලි දාමය බිඳ දැමූයේ,මඩු ගලවමින් සිටි තරුණයෙක් අතින් බිම වැටුණු ටකරමකි.

ගමේ මිනිස්සු අම්මා වෙනුවෙන් මේ තරම් නහින්නේ ඇයිදැයි ඔහුට ඇත්තේ කුකුසකි.ගමේ මොකක්දෝ සමිතියක මහල්ලෙක් ඔහු පැමිණි දා ඔහු හා කී කතාවක් ඔහුට සිහිපත් වෙයි.

 

"මහත්තය අම්මට සලකපු තරං අපේ එකෙක් අපිට සලකයිද මහත්තයෝ අම්මගෙ වියදමට කී දාහක් එව්වද මාසෙකට?"

 

එහෙම කී මහල්ලාගේ පුතා කොටාගත් විටක් අතැතිව ඇවිත් තම පියාට පිරිනැමූයේ ඔහු බලා සිටියදීමය.තමා අම්මාට බුලත් විටක් තබා කෑම වේලක්වත් දුන් දවසක් සිහිපත් කරන්නටය ඔහු බුලත් විටක් කාගෙන ගෙපිල අයිනට වූයේ. එය ඔහුට සිතුවාට වඩා අභියෝගයක් විය.

  හිත ගෙනගිය සිතුවිලි දාමයක් අග්ගිස්සෙන් මීදී ඔහු ගෙපැලින් නැංගේ අතරමං වූ චින්තා පුරවරයේ ඉමක් සොයා ගැනීමටය.

  

  මෙතෙක් කාලයක් අම්මාගේ නමින් බැංකු පොතට රුපියල් දහදාහක් දැමීම ඔහුට මහා දෙයක් නොවී ය.ඒත් ඒ මුදලින් අම්මා ජීවත් වූයේ කොහොමදැයි ඔහු දැන නොසිටියේ ය.ඈ ගමේ දරුවන්ට කීය කීය හෝ දී උගැන්මට දිරි දුන් බව අවමගුල් සබාවේ කියනු ඇසිණ. අවමගුල ගැන කතා කරන්නට තමාට සිද්ධ වූ අවස්ථාවේ තමා ගොළු වූයේ මන්දැයි ඔහුට එවේලේ සිතාගන්නට නොහැකි වුවත් දැන් එය පැහැදිලි ය.

 

 අම්මා ගැන ගමේ දරුවන් හෝ මහල්ලන් හෝ දැන සිටි තරම් දෙයක් තමා ඈ ගැන නොදැන උන් බව දන්නේ ඔහුය. ඒත් ඒ බවක් ගැමියන්ට නොදැනෙන්නට ඇත. සංවේදී වූ විලාසයෙන් ඔහු එතැනින් නිකුත් වූ හෙයිනි.

***** 

 පාසල් ඇරී ඔහු කුරුඳු අත්තක පොත්ත හපමින් ගෙදර ආයේ ය. ගෙට ගෙවදිද්දීම බත් හට්ටියේ අඩිය හූරනු ඔහුට ඇසිණ.ඈතදීම දරු දුටු අම්මා කුස්සියට වදින්නට ඇත.

 *****

ඒ හට්ටිය හූරන හඬ අදත් කුස්සිය පැත්තෙන් ඔහුට ඇසුණේ ය.කුස්සියට ගිය ඔහුට යාලත්තේ ආනක එල්ලා මකුණු දැල් බැඳුණු පොල් කටු හැන්ද දක්නට ලැබිණ.

Comments

Popular Posts