විසිරුණු ඇට ඇත. මිණිකැට පරදන.

 

OLD FARMER
කිරිඅත්තා කාටදෝ බැණ අඬගසයි,තොපේ අපේ ආදි උන්දල කවුරුත් කවදාවත් මේ මහපොළව හූරගෙන කාල නෑ බොලව්.පොලෝ පෙරලල සරුසාර කරා මිසක්ක.තොපි කුඹුක් ගාල හූරං කෑව මදිවට පොලෝ හාරන්න අහනව ඇට හොයන්න, කාලකණ්නි හැත්ත!තුඃ විතරක්!

   මද්දහනේ ගිනියම එක්ක පාසල ඇරී ගෙදර දුවගෙන එන මට අත්තාගේ බැණුමේ රස්නය වැදීමෙන්දෝ මෙතෙක් නොතිබූ දාහයක් ඇවිත් තුංමුණින් දාඩිය වැගිරෙන්න විය.කිරිඅත්තා මේ බැණ අඬගසන්නේ කුඹුරු බිමේ පතල් කපන්න විමසූ තාත්තලාට ය.එක අතකින් තාත්තලා වැරදි නැත.පෝර බෙහෙත් වියදං දරාන කුඹුරු කළාට කවදාවත් වගතුවක් නැතැයි තාත්තා කියයි.කන්නයක හාල් ඊළඟ අස්වනු නෙලිල්ල තෙක් කනවා විනා ඉතිරියක් හෝ සල්ලියක් කුඹුරෙන් නොලැබීම ඊට හේතුවයි.එවැනි අවස්ථාවක අත්තම් එක්කාසු කරගෙන පොළව හාරා වාසනාව උරගා බලන්නට කවුරුත් ආසා කරති.මහ කන්නයේ අස්වනු බාල වීමත් එක්ක බඩට කන්නවත් බත් නැති වූ වෙලාවේ බාප්පලාත් කැමති කරගෙන යාය ඇළ අයිනේ කුඹුක් ගස් පේලිය මෝලට වික්කේ තාත්තා ය.අලුත් ඉස්කෝල වාරයට අපි පොත්පත් ටික ගත්තේද තාත්තා ඒ සල්ලිවලින් කරගත් ඉතිරියකිනි.ඒ සිද්දියත් එක්ක අත්තා උන්නේ තාත්තලා එක්ක ගොඩනගාගත් හිත් අමනාපයකිනි.මේ කාරණාකාරන එක්ක පතල් කැණීමේ අදහසක් තාත්තලා ඉදිරිපත් කිරීම මේ ආරෝව තවත් උලුප්පන්නක් විය.

    ඔන්න ඔය කිල්ලෝටෙ ගනිං,

කිල්ලෝටය ඉල්ලුවාට ඔහුට එය අරන් දෙන්න කවුරුත් ළඟපාතක නොවීය.බැණුම් සද්දයට තුෂිණිම්භූතව කඩුල්ල ළඟ  හුන් මම ඒ කියැවිල්ලෙන් අවදිව වහා කඩුල්ල පැන ඇවිත් කිල්ලෝටය ගෙන ඔහු අත.තැබීමි.මගේ මූණ බලා ලැජ්ජාවෙන් වගේ අහක බැලූ ඔහු අයේ හැරී මොනවාද අසනු ඇසුණත් ඒ වන විටත් මම පොත් මිටියද ඇඳ උඩ දමා යාලත්තට එබීද අවසන්ය.

    

      ඇඟිල්ලේ හුණු පිල් බිතක්කනෙහි ඉලූ අත්තා ආයෙත් මුණු මුණුව පටන් ගති.ආතෙ අම්ම කොහේ ගිහිංදෑ? 'යි මම ඇසුවේ අම්මා මල්ලී කැටුව වෙදගෙදර ගිය විත්තිය නොදැන නොවේ. දවස් දෙක තුනක් රෑ තිස්සේ හීනෙං ඇහැරෙන මල්ලීට පිළියමක් සඳහා යන බව අම්මා උදෑසනම මට කියා තිබුණා ය.ඒත් ආතා නිශ්ශබ්ද කර කතාවට අල්ලා ගැනීමේ අටියෙන් මම එසේ ඇසීමි.

          අත්තාට මගේ ප්‍රශ්නය අසුනේ නැතුවා වාගේය එක්කෝ ඔහු එය ගණන් ගත්තේ නැත. ඒත් ඔහුගේ කතාව මා වෙත යොමු විය.උඹලෑ අප්පල පොළව හාරන්න කයිය.අහවල් මගුලටද ඔය සල්ලි පස්සෙ දුවන්නෙ කන්න ඇඳල ඉන්න තියෙනං,ආතා අසයි.

ඒ උනාට ආතෙ...

ඒ මේ නෙමෙයි මේ යායවල් අපි පරංපරාවෙන් කරගෙන ආපු පූජාවල්.උඹලෑ අප්පල කෝමද ඒක වනසන්නෙ පොළව හාරල?

අත්තට තේරෙන්නෑ දැන් හැමදේටම වියදම්.

ඇයි උන්ට සල්ලි නැතුවද? අර එක කන්නයක් පාළු උනා තමයි ඒ උනාට මේ යායවල් තොපිටත් දීල මේ නාකි මටත් කන්න අඳින්න දුන්නැද්ද?

අනේ මට තේරෙන්නෑ ආතෙ.

 මුං හිතනපතන හැටි තේරුංගන්න උඹ නෙමෙයි මාත් තාම ළපටි වැඩියි කොලුවෝ,ළපටිකම තීරණේ වෙන්නෙ උපන්න දා ඉඳල ගෙව්ව පෝය ගාණෙං වත් අවුරදු ගාණෙං වත් නෙමෙයි.එදා ඉඳං අහපු දැකපු දේවල් වල ගණකමෙං,උන් එක්ක පය ගහල  කරට කර ඉඳියොත් උඹට බැරිවෙනේකක් නෑ දවසක ඕව තේරුං බේරුං කොරගන්න.ආතා සුසුමක් මැදින් කියා නිශ්ශබ්ද විය.

පවුලට කන්න ඇත්නම් තවත් සල්ලි සොයාගෙන යාමේ උවමනාව කුමක්දැයි ආතාට තවම ප්‍රහේලිකාවකි. ඔහු ඈත කඳු තෙක් විහිදී ඇති වෙල්යාය දිහා බලාගෙන කල්පනා කරයි.අත්තාගේ තාත්තාත් ඒ අත්තාගේ තාත්තාත් ආදී වශයෙන් පරම්පරා ගණනක් කෑවේ ඇන්දේ මේ කුඹුරු වැපිරීමෙනි.ආතාට අනුව කුඹුරු කිරීමත්, ලැබෙන ඉස්පාසුවක තවත් කර්මාන්තයක නියැලීමත් මිනිසෙකුට ජීවිතයට ප්‍රමාණවත් ය. ඒ එක අතකට ඇත්තය. එක කන්නයක් පාළු වූවාට අපි වෙනදා හොඳට කාලා ඇඳලා සිටියෙමු.

***** 

තාත්තා ගෙට ගොඩ වූයේ මාත් එක්කමය බත් කා දොළට ගිහින් නා කියා ගෙන හවස් වී ගෙදර එමින් උන් මට හන්දියේ සිට බයිසිකලයෙන් එන තාත්තා මගදී හමුවිය.

අත්තා ඉස්සරහට ගිය තාත්තා බිම බලාගෙන යමක් කියයි.අත්තා කෝපයෙන් වෙවුලමින් ප්‍රතිඋත්තර දෙයි.අන්තිමට පිළෙන් එළියට බැස්ස අත්තා අමුඩ ලේන්සුව කරපින්නන් හැරමිටියට වාරු විය.

  අවුරුදු ගාණක සිට වාත අමාරවෙන් පෙළෙන ආතා ඇවිදින්නේ අමාරවෙන් හැරමිටි වාරුවෙනි.

 

එදා රෑ බෝ වීත් ආතා ගෙදර නාවේ ය.යායේ ගොවියන් කීපදෙනෙකුත් එක්කාසු කරගෙන තාත්තලා පතල් කෙරුවාවට අත තියන්න තීරණය කර ඇත.ඉල්ලම් ඇති වගත් තවත් එක එක කාරණාත් අම්මාත් තාත්තාත් කතා වෙනු රෑවින් රෑ වන තෙක් ඇසුණි.ඒත් ආතාගේ පැමිණීමක් නැත.

මල්ලිලෑ දිහාවත් යන්න ඇති නිදාගමු!........අම්මාගේ වචනයට තාත්තා උත්තර දුන්නා මට ඇසුණි.

එදා රෑ මහ වරුසාවක් විය.හෙණ හඬත් එක්ක නින්දට යන තෙක් මට ඇසුණේ වැස්සේ චුරු චුරු පහර ලබන පියසි බිත්ති නැගූ හඬයි.

 

   වැස්සට තෙමීමෙන් බඳ පුම්බාගත් කුකළා දෙතුන්වරක් නාද කරන්නට වූ කල දොර ඇරගෙන ගෙයින් එළියට බට මගේ නාස්පුඩු අගින් කිවිසිල්ලක් දෙකක් පිට විය.කිරිඅත්තාගේ ඇඳ හිස් ය.උදෑසන කරව් නාදය එක්ක ඈතින් මුඩුම තෙතබරිත සුළඟක් ගෙට ඇතුළු වෙයි.

අත්තා බාප්පලෑ ගෙදර යන්නට ඇත.බාප්පාගේ ගෙදර අපේ ගෙදරින් වැඩි දුරක නොවේ.

    සුදු ඉර එළිය පොළවට වැටෙන තෙක් කල් මරමින් උන් තාත්තා දතකට මැදගෙන අත්තාගේ අඩි පාර ඔස්සේ ඉව අල්ලන්නට වන.

*****

     අත්තා බාප්පාගේ ගෙදරට ගිහින් නැත.ඒ පුවත කන වැකුමත් එක්ක හීන් හිරියක් ඇඟ පුරා දුවන්නට විය.තාත්තලා කලබලයෙන් දුවයි. අත්තාගේ හැරමිටිය වක්කඩක් පල්ලේ තිබී හමුවෙලා ය. රාත්‍රී පුරා වට වැස්සෙන් තෙමී,උදෑසන හීන් පින්නෙන් දෝවා තිබුණු අත්තා දරදඬු වේශයෙන් ඊළඟ ලියද්දක මුණින් වැටී සිටියේ ය.අත්තා එක් කරගෙන සිටි දෑතෙහි බුලත් මඩිස්සලයේ දමාගෙන යන යන තැන අරන් ගිය බිත්තර වී අහුරක් විය.ගිය කන්නයේ අත්හැරුණු වී ඇට දෙකකින් නැගී ඉපනැල්ල මැදින් ආ හීනි ගොයම් පැළ දෙකක් අත්තාගේ කෙට්ටු සිරුරට යට වී පොඩි වී තිබිණ.

*****

 "මේ යායවල් අපි පරංපරාවෙන් කරගෙන ආපු පූජාවල්...!"

 

තාත්තෙ ඊළඟ කන්නෙත් වපුරමු නේද?

තාත්තා කිසිත් නොකියා කඳුළු අතරින් හිස වැනී ය.

Comments

Popular Posts