කලටිපොල් සහ පොලිටිකල්.

දේශපාලනය යන්නෙහි ලඝු අර්ථ නිරූපණය පාලන තන්ත්‍රය විසින් තීරණ ගනිමින් පුද්ගලයන් අතර සම්පත් හෝ තත්වය බෙදා හැරීම වැනි බල සම්බන්ධතා සමඟ සම්බන්ධ වූ ක්‍රියාකාරකම් සමූහයක් ලෙස දැක්විය හැකිය.
එහෙත් ලංකාව තුළ දේශපාලය යන්න අරුත් ගැන්වෙන්නේ වෙනත් ආකාරයකිනි. සැලසුම්සහගතව තීරණ ගනිමින් පාලක පිරිස අතර සම්පත් හා තත්වයන් බෙදා ගැනීම සම්බන්ධ ක්‍රියාකාරකම් සමූහයක් ලෙසිනි. ඉතිං ලංකාවේ දේශපාලනය නම් තත්වාකාරයේ නොපිට ය. එනම් පොලිටිකල් නොව කලටිපොල් ය. කලටිපොල් ක්‍රීඩාව ප්‍රගුණ කළ නීච පාලකයෝ සූක්ෂ්ම ලෙස පාලිත පන්තිය රවටමින් රටේ දේපළ තමා සතු කර ගනිත්. ආගම නම් ආධ්‍යාත්ම සංවර්ධනය සඳහාය. එහෙත් ලංකාව තුළ ආගම ජනතා බෙදීම වෙනුවෙනි. ජාතිය නම් බොහෝ විට භාෂාවේත් අදහන ආගමේත් විවිධත්වය මත ගොඩනැගුණකි. එහෙත් ලාංකිකයන්ගේ විශ්වාසය නම් එය ජානමය බෙදීමක් බවයි. ඒද ජනතා බෙදීමකි. මේ ජාති ආගම් ඛණ්ඩනය පාලක පන්තියේ සූක්ෂ්ම ක්‍රීඩා උපක්‍රමයන්ය. ජනතාව එකිනෙකා කා කොටාගන්නා කල හොර රහසේ කොල්ලකන්නට හැකි බැවිනි. කලටිපොල් ක්‍රීඩාවේ රහස දැනගත් සබුද්ධික ජනතාව පාලකයාගේ නිරුවත මේ යැයි දක්වමින් විරුද්ධ වෙති. එහෙත් පාලකයාගේ ඉඳුල් රස වැටී ඔවුන්ගේ කසල බඳුන් වන්දනා කරන ඇතැම් පාලිත නඩ මේ ප්‍රකාශනයන්ගෙන් වියරුව සිටිත්. පාලක පක්ෂය සතුව ලංකාවේ ආරක්ෂක අංශ සිටිත්. වැටුප් ලබන හමුදාවනුත් පොලිසියත් ර⁣ජයේ සේවකයෝය. ඔවුන් බොහෝමයක් යන්තමින් දිවි සරි කරගන්නා මධ්‍යම පාන්තිකයෝය. පාලකයා විසින් මූල්‍ය උගුලකට හසු කර කාරිය කරවා ගනිත්. එක්කෝ රස්සාවය. නැත්නම් දරු පවුල කුසගින්නේය. එහෙත් ඔවුන්ද පීඩිත වූ පාලිත සමාජය නියෝජනය කරත්. එසේ කරතත් පාලකයාගේ සෘජු විධානයන්ට යටත්ය. අරගලකාරී පාලිතයාත් අවි ගත් නිලධාරී පාලිතයාත් කෙටවීම පාලකයාගේ අවසන් අවධියේ තුරුම්පුවකි. අරගලකාරීන් නිලධාරීන් කෙරෙහි ප්‍රකෝප කරවීමෙන් අවි ගත්තෝත් නොගත්තෝත් ගැටී අවි නොගත් අරගලකාරීන් වැනසෙනු නියතය. ආගම් කෙටවීමත් ජාති කෙටවීමත් තවදුරටත් අසාර්ථකය. එහෙයින් පාලකයාගේ ක්‍රීඩාව පහසු කරවනු වස් තවත් සමාජ ඛණ්ඩනයක් කරවනු ඇවැසිය. එමෙන්ම සත්‍ය දත් අරගලකාරී පාලිතයන් වැනසීමද යුතුය. එක් පසෙකින් පාලකයා සමාජ ඛණ්ඩනයකින් අරගලකාරීන් වැනසීමට යන්ත දරයි. තවත් පසකින් ඉඳුල් පතා පාලක කුණු කූඩ වඳින ඇතැමුන් වියරු රංගනයක යෙදෙත්. හිතවතුනි, අරගලය ඇත්තේ කලටිපොල් ක්‍රීඩකයින් සමගය. තවදුරටත් ඔබ බෙදිය යුතු නොවේ. නිලධාරීනුත්, අපත්, අන්ධ භක්තික කසල යදින්නනුත් එක් පොදු කුලකයක අවයව වෙමු. තතු නොදැක අන්ධව සිටින්නන්ගේ දෑස් පෑදීමත් නිලධාරීන්ගේ තත්වය වටහා ගැනීමත් අප කළ යුතුය. ඛණ්ඩනයේ විපාක දරුණු විය හැකිය. ජාතිය, ආගම, රැකියාව හෝ දැනුවත් නොදැනුවත්භාවය හුදෙක් සමාජ කාරණාවන් පමණි. එය බෙදීමට කරුණක් කර නොගන්න. කලටිපොල් පසෙකලා පොලිටිකල් දන්නා පාලිත පිරිසක් තනනු වෙනුවෙනි❤️

Comments

Popular Posts